අකුරු ෆෞන්ඩ්‍රිය ගැන

ශ්‍රී ලංකාවේ ෆොනුරූ හිගය මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

අකුරු ෆෞන්ඩ්‍රිය යනු ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපය තුළ නිදහස් සහ නොමිලේ ලබාදෙන ෆොනුරූ ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම හා පවත්වාගෙන යාම සඳහා දායකත්වය සපයනු ලබන සාමූහිකයකි.

අකුරු ෆෞන්ඩ්‍රිය අකුරු වැඩපොළක් මෙන්ම තාක්‍ෂණික සුරැකුම්පොළක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. නව ෆොනුරූ නිකුත් කිරීම, අධීක්ෂණය, සහ තාක්‍ෂණික සහය ලබා දීම මෙහි මූලික වැඩපිළිවෙළයි. ඊට අමතරව  ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාතික කලාපය තුළ නිදහස්/නොමිලේ නිකුත් කරනු ලබන ෆොනුරූ පිළිබඳ ප්‍රමිතිගත නාමාවලියක් සහ ෆොනුරූ එකතුවක් පවත්වාගෙන යාමත් මෙහි ක්‍රියාකාරකම් අතර වේ. මෙහි පළමු අදියර යටතේ සිංහල, දෙමළ සහ තාන ෆොනුරූ අධීක්ෂණයට ලක්කිරීම සහ නිකුත් කිරීම අප විසින් අරමුණු කර ඇත. විවිධත්වයෙන් යුතු උසස් ප්‍රමිතියේ ෆොනුරූ නිර්මාණය උදෙසා අකුරු ෆෞන්ඩ්‍රිය විවිධ සමාජ කණ්ඩායම්, ව්‍යාපාරික ආයතන, ශාස්ත‍්‍රඥයන්, රාජ්‍ය ආයතන හා අන්තර්ජාතික සම්පත්දායකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.  

ශ්‍රී ලංකාව (ඇතුළු දකුණු ආසියානු කලාපය) සතුව පවත්නා ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් තරම් ෆොනුරූ නොතිබීමයි. ෆොනුරුවක් යනු ග්‍රැපික් නිර්මාණකරණයේදී අතවශ්‍ය යටිතල පහසුකමක් වන අතර ව්‍යාපාරික කටයුතුවලදී සහ ග්‍රැපික් නිර්මාණ කටයුතුවලදී අවශ්‍යතාවට සරිලන ආකාරයේ සුදුසු ෆොනුරූ නොමැති වීම ගැටලුවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම ලතින් හා සැසඳෙන සිංහල සහ දෙමළ ෆොනුරූ අතිශයින්ම විරලය. දැනට භාවිතයේ ඇත්තේ සිංහල ෆොනුරූ 100කටත් අඩු ප්‍රමාණයක් වන අතර අක්ෂර නිර්මාණකරණය පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් ඇති පිරිසක් විසින් මෙම ෆොනුරූ නිර්මාණය කොට ඇත. දැන්වීම ප්‍රචාරණ කටයුතු සහ නොයෙකුත් සන්නිවේදන කටයුතු සඳහා ද මෙම ෆොනුරූ බහුල වශයෙන් භාවිත වී ඇතත් ඒවායේ ගුණාත්මක බව අතින් ඉතා පහළ මට්ටමක පවත්නා බවක් නිරීක්ෂණය කළ හැකිය. සැලකිය යුතු තරම් ෆොනුරු ප්‍රමාණයක් අපට අවශ්‍යව ඇති බව සත්‍යයකි. එහෙත් හුදු ෆොනුරුවක් නිර්මාණය කිරීම වෙනුවට අනාගත තාක්ෂණයට සුදුසු ආකාරයෙන් එහි ඉංජිනේරුමය කාරණාවන් අතින් පරිපූර්ණ, නිවැරදිව සැලසුම් කළ ෆොනුරුවක් නිර්මාණය වීම සිදු විය යුතුය. ගුණාත්මක ෆොනුරූ සම්බන්ධයෙන් පැහැදිලි අවශ්‍යතාවක් සමාජය තුළ ඇති බව මේ අනුව පෙනී ගියද ඊට සරිලන තරම් සැපයුමක් නොමැති බව ද නිරීක්ෂණය කළ හැකිය.

ෆොනුරූ නිර්මාණකරණය යනු අධික කාලයක් වැය කරමින් කළ යුතු විශේෂිත විෂය පථයකි. විශේෂයෙන්ම සිංහල ෆොනුරූ නිර්මාණයේදී සෙසු භාෂාවන්ගේ ෆොනුරූ නිර්මාණයට වඩා සෑහෙන කාලයක් වැය කිරීමට සිදුවෙයි.

අක්ෂර වැඩි ප්‍රමාණයක් තිබීම සහ බැඳි අකුරු පැවතීම මීට හේතුවයි. අකුරු මෝස්තර නිර්මාණකරණය සහ ෆොනුරූ ඉන්ජිනේරු තාක්ෂණයට අදාළ කාරණාවන්හිදී සංස්කෘතිය, භාෂාව, තාක්ෂණය සහ සෞන්දර්ය පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. මේ අනුව බලන කළ සිංහල සහ දෙමළ භාෂාවන් සඳහා ෆොනුරූ නිර්මාණය ඉතා හොඳ ආයෝජනයක් වනු ඇති බව පෙනීගියද සැබෑ වශයෙන්ම සැලකිය යුතු ආකාරයේ ආදායමක් මින් ලැබීම අසීරුය. මන්ද යත් කලක පටන් ෆොනුරූ නිර්මාණකරුවන් සහ ඇතැම් ප්‍රවීණයන් පවා තම ෆොනුරූ නොමිලේ පොදු පරිහරණය සඳහා ලබා දීමට පුරුදුව සිටීමයි. ෆොනුරුවක් විධිමත්ව මිලට ගෙන පාවිච්චි කිරීමට තරම් ශක්තියක් ඇති වෙළඳපොලක් තවමත් මෙරට තුළ නිර්මාණය වී නොමැත. විවිධත්වයෙන් යුතු ෆොනුරූ නිර්මාණ යනු සංස්කෘතියේම ප්‍රකාශනයකි. එබැවින් ෆොනුරූ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි එක්ව කටයුතු කළ යුතු කාලය උදා වී ඇත. 

මෙම සමූහයේ සාමාජිකත්වය දරනු ලබන්නේ ෆොනුරූ නිර්මාණකරණයට උනන්දුවක් දක්වන පිරිසක් වන අතර ඔවුන්ගේ ඒ උනන්දුවට යම් ආර්ථිකමය වටිනාකමක් හිමි විය යුතු බව අපි විශ්වාස කරන්නෙමු. අපගේ ෆොනුරූ නිර්මාණකරුවන් සඳහා යම් ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කෙරෙහි මේ වන විට අප අවදානය යොමු කර ඇත්තේ මේ කරුණ නිසාවෙනි. මෙම කාර්යය වෙනුවෙන් ඔබ දක්වන දායකත්වය අකුරු ෆෞන්ඩ්‍රියේ සාර්ථකත්වයට නොමඳ පිටුබලයක් වනු නොඅනුමානය. 

අප විසින් සැලැසුම් කොට ඇති ආකාරයට මෙම වසරේ සිට අකුරු ෆෞන්ඩ්‍රි සාමාජික ගාස්තුවක් හරහා කැමති ඕනෑම අයෙකුට මේ සඳහා දායකත්වය ලබා දීමේ හැකියාව පවතී. ඒ අනුව මෙම සමූහයේ සාමාජිකයන්ට 2020 ජුනි මස සිට අකුරු ෆෞන්ඩ්‍රිය හරහා සෑම මසකම නිකුත් කරන නවතම සිංහල ෆොනුරූ ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. ඊට අමතරව මෙම සාමාජිකයන්ට පහත ප්‍රතිලාභයන් ද හිමිවීමට නියමිතය.

  • දායකත්ව ලැයිස්තුවේ නම සටහන් වීම
  • ෆොනුරූ පිළිබඳ නවතම තොරුතුරු දැනගැනීමට හැකිවීම
  • ඉදිරීයේදී නිකුත් විය යුතු ෆොනුරූ සඳහා මනාපය පළ කිරීමේ හැකියාව
  • විශේෂ අලෙවි භාණ්ඩ (පෝස්ටර්, පෝස්ට්කාඩ්, ටීෂර්ට්) සඳහා වට්ටම්
  • යුනිකෝඩ් භාවිතය පිළිබඳ නොමිලේ වැඩමුළු
  • අකුරු සාමුහිකයේ ඉසව් සඳහා විශේෂ වට්ටම්

ෆොනුරූ නිර්මාණකරුවන් ද ඇතුළත්ව අකුරු ෆෞන්ඩ්‍රිය සෑම සාමාජිකයෙකුම සමාන අයුරින් පිළිගනියි. සියලුම ආදායම් ෆොනුරූ සංවර්ධන කටයුතු සහ ශිල්පීන්ගේ ගෙවීම් වෙනුවෙන් ආයෝජනය කෙරේ.

ඔබේ සහයෝගය ලබාදෙන්න

අපේ පළමු නිකුතුව වන මොටා ටයිප් වන් ෆොනුරුව නොමිලේ ලබාදෙන නමුත් ඔබට මූල්‍ය සහයෝගයක් දැක්වීමට අවස්තාව ඇත.