සඳරේණු රුවකු​ර

90′ දශකයේ ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර අතර ජනප්‍රිය පුවත් පත් 2ක් වූ “සඳරේණු” සහ “අරලිය” පුවත් පත් වල ශීර්ෂයන් නිර්මාණය කර තිබූ අකුරු වල හැඩයන් ඇසුරෙන් ලලිත් රත්නායක විසින් නිර්මාණය කළ “සඳරේණු” අකුරු මෝස්තරය 

ඔබේ මූල්‍ය සහයෝගය ලබාදෙන්න

මේ රුවකුර නොමිලේ ලබාදෙන නමුත් ඔබට මූල්‍ය සහයෝගයක් දැක්වීමට අවස්තාව ඇත.

සඳරේණු රුවකුරේ​ නිර්මාණකරු ගැන

ලලිත් රත්නායක

චිත්‍ර ශිල්පයට ඇති ඇල්ම නිසාම, 1997 පමණ ලලිත් රත්නායක පාසැල් අධ්‍යාපනය හමාර වෙත්ම එවකට ජනප්‍රිය පුවත්පත් ආයතනයක් වූ නුගේගොඩ ICMS පුවත්පත් ආයතනයේ චිත්‍රශිල්පියෙකු ලෙස වෘත්තීය දිවියට අත් පොත් තබන්නේය. පරිගනකය අවම අවශ්‍යතා වෙනුවෙන් පමණක් භාවිතා වුණු එවන් කලෙක පුවත් පත්වල ශීර්ෂයන් (Title Letters) නිර්මාණය වූයේ චිත්‍ර ශිල්පියෙකු අතින්, කළු ඉන්දියන් තීන්තෙන් කඩදාසි මතය.. ඉතින් ලලිත් ට ආයතනයේ පැවරෙන චිත්‍ර කටයුතු අතර “අකුරු ඇඳීම” තවත් එක් ප්‍රධාන කර්තව්‍යක් විය… ඉන් අනතුරුව ලංකාවේ වූ ජනප්‍රිය පුවත් පත් හා ටෙලි නාට්‍යය වල ශීර්ෂයන් ඔහුගේ අකුරෙන් හැඩවිය..


2000 වසර දක්වා පුවත් පත් ආයතන කීපයකම චිත්‍ර ශිල්පියෙකු, චිත්‍ර කතා රචකයෙකු ලෙස සේවය කරන ඔහු කාලයත් සමඟ ක්ෂේත්‍රයේ සිදුවන ඩිජිටල් කරණය කල් තියා හඳුනා ගනිමින් පරිගනක ග්‍රැෆික් නිර්මාණ කරණය ඇරඹීය. තෙල් සායම්, දිය සායම්, චාකෝල් වැනි මාධ්‍යයන් ට දස්කම් දැක්වූ ලලිත් ට පරිගනකය චිත්‍ර ඇඳීම සඳහාද තවත් එක් අපූරු මෙවලමක් විය.. තමන් විසින් නිතර පරිගනකය හරහා අඳින අකුරු ෆොනුරූ ලෙසින් සකස් කිරීමට ආසාවක් ඔහු තුල හට ගත්තද, කාර්යය බහුලත්ව​ය ඔහුට හරස්වේ.


ඔය අතරේ කොළඹ, ගාල්ල, මාතර දී චිත්‍ර ප්‍රදර්ශණ ගණනාවක්ම පවත්වා ඇති ඔහු 2018 වසරේ ඉතාලියේ Fabriano හි පැවති “Fabriano in Acquarello” දිය සායම් ප්‍රදර්ශය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහුගේ සහභාගීත්වය සනිටුහන් කළේය.


ග්‍රැෆික් නිර්මාණ කටයුතුවලදී නිතර භාවිතාවන පුෂ්පානන්ද මහතා විසින් නිර්මාණය කරනලද FM ෆොනුරූ එකතුව දකින වාරයක් පාසා ලලිත්ගේ අකුරු හැදීමේ ආසාව යළි නැවුම් පණක් ලබන්නේය.. දැනට වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක ග්‍රැෆික් චිත්‍ර ශිල්පියෙකු ලෙස පූර්ණකාලීනව සේවය කරන ඔහු තවත් කල් නොදමා අක්ෂර ෆොනුරූ නිර්මාණ කරණය ට එළඹෙන්නේ සිංහල අක්ෂර පිළිබඳව ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ ඇතිවන පිබිදීමත් සමගයි… දැනට ඔහු අතින් නිමවෙමින් පවතින ෆොනුරූ ත්‍රිත්වයක් ඉදිරියේදී එළි දැක්වීමට නියමිතය..